දිනය 2024 වසරේ අප්‍රේල් මස 17 වැනිදාය. දොරබොර කන්ද සිය ශීර්ෂ මස්තකයේ මීදුම් වැටියක් රඳවාගෙන සිටිනුයේ සම්මුඛයේ ඇති බිබිල වෑගම සද්ධර්මාලංකාර විහාරය දෙස බලමින් දොහොත් මුදුන් දෙන යෝධයෙක් මෙනි. මෙදින මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් යෝධ වැඩක් ඇරඹෙන අයුරු මේ යෝධ කඳුවැටිය එලෙස සාදු සිතින් යුතුව මෙන් බලා සිටින්නේය. දොරබොර කඳු අඩෙවියන් මුදාහැරෙන ගල්ඔය දියවරෙන් බිබිල කෙත්වතු සරුවන්නේ යම් සේද, වෑගම සද්ධර්මාලංකාරය කේන්ද්‍ර කරගත් මෙම වැඩසටහනෙන් මුලු බිබිලම සරුවනු ඇත. බිබිල පමණක් නොව මේ දෙන ‘ආදර්ශය’ මෙරට සෑම ගමක්ම සරුකරවීමේ හැකියාවෙන් යුක්තය. ‘පොහොසත් ගමක්- පොහොසත් රටක්’ යන සංකල්පය බිහිකරමින් ඒ ආදර්ශයට වරම් දුන් මිනිසා, ඩීපී එඩියුකේෂන් නමැති ආසියාවේ අංක එකේ අධ්‍යාපන වැඩසටහන නොමිලේ මේ රටේ ගෙයක් ගෙයක් ගානේ බෙදන ධම්මික පෙරේරා මහතාය. හෙතෙම මේ රටේ පරම්පරා ගණනාවක් මුහුණ දුන් දුපත්පත්කමේ ඉරණම වෙනස් කිරීම පිණිස අතිශය ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ලෝකය සමග උරිනුරගැටීමට අපට ‘ඩිජිටල් සවිය’ දෙන මිනිසාය. රජයක් විසින් සිදුකළ යුතු දෑ තම පුද්ගලික ධනයෙන් ඉටුකරමින් නොනිමි මෙහෙවරක යෙදෙන මිනිසාය. ඒ නොනිමි මෙහෙවරේ තවත් එක් සුවිශේෂී සන්ධිශ්ඨානයක් බවට පත්වන මේ යෝධ වැඩකටයුත්ත ‘පොහොසත් ගමක්- පොහොසත්’ රටක් යන සංකල්පය ඔස්සේ ක්‍රියාවට නැංවෙන ‘ඩීපී ආනාගත නියමු ව්‍යාපෘතිය’ නම්වේ.
මෙය ගමක වෙසෙන සිඟිත්තාගේ පටන් වැඩිහිටියා දක්වාම ප්රතිලාභ හිමිවන බහුකාර්ය වැඩසටහනකි. පරිපූර්ණ ප්‍රායෝගික වැඩපිළිවෙලකි. ඒ අනුව මෙරට ග්‍රාම සංවර්ධනය උදෙසා වයස් භේදයකින් තොරව එහි වෙසෙන සියලු ප්‍රජාවන්ට සෙත සැලසෙන සේ මේ ආකාරයේ බහු කාර්ය පරිපූර්ණ ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ක්‍රියාවට නැංවෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් දුෂ්කරම පෙදෙසක් ලෙසින් හැඳින්වෙන බිබිලේදී මෙලෙස ක්‍රියාවට නැංවෙනුයේ පොහොසත් ගමක් හැදීමේ පෙර නොවූ විරූ වැඩපිළිවෙලක කුළුඳුල් වැඩසටහනය.
ඒ යටතේ මේ පැහැබර 17 වැනිදා දිනයේ පළමුවෙන්ම යෙදුනේ ළදරු පාසල් දෙකක් වෑගම සහ අවට ජනතාව වෙනුවෙන් හිමිකරදීමය. ‘ළදරු පාසල්’ කීවාට අප දකින අනෙකුත් ළදරුපාසල්වලින් මේවා වෙනස්ය. මෙහි ඉගෙනුම ලබන දරුවන් භාවිතා කරන දෑ බොහොමයක් ඇමරිකාවේ ළදරු පාසලක දරුවන් භාවිතා කරනදෑමය. මේ දරුවන්ට හිමිවනුයේ, ඩිජිටල් තිරය මතින් ගෙනෙන, ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ක්රමවේදයකි.
පෙර පාසල් අධ්‍යාපනය නවමු මගකට ගෙන ඒමේ ක්‍රියාවලියේදී ධම්මික පෙරේරා මහතාට ඇති ප්‍රායෝගික අත්දැකීම් සම්භාරය සහ මේ සම්බන්ධයෙන් පර්යේෂණාත්මකව විමසීමෙන් ලැබී ඇති න්‍යායාත්මක දැනම මෙරට අන් කිසිවෙක්ට නොමැති තරම්ය. හෙතෙම බිබිල ප්‍රදේශයට මේ පෙර පාසල් දෙක හිමිකරදීමට පෙර තවත් පෙර පාසල් දහසක් මේ රටේ තැනින් තැනට උරුම කර දී තිබුණි. එකක් දෙකක් නොව පෙර පාසල් දහසක් යනු සුවිශේෂී සංඛ්‍යාවකි. ඔහු එවැන්නකට පෙලඹුණේ හුදු ජනප්‍රියත්වයක් සොයා නොව විද්‍යාත්මක පදනමක් සහිතවය. ඒ කුමක්දැයි මෙදා මෙම පෙරපාසල් විවෘත කරන මොහොතේ එහි රැස්ව සිටි දරුවන්ගේ මව් දෙමාපියන් ඇතුලු වැඩිහිටියන් හමුවේ හෙතෙම පවසා සිටියේය.
“අපේ රටේ පෙර පාසල් අධ්‍යාපනයට අපි දී තිබෙන අවධානය ඉතා අවමයි. රජය වුණත් ඉන් ඉහළ අධ්‍යාපනය වෙනුවෙන් තමයි අධ්‍යාපන ප්‍රතිපාදනවලින් සියයට අනූපහක්ම පමණ දරන්නේ. ඒත් දරුවෙක්ගේ වයස අවුරුදු 5ක් වෙනකොට එයාගේ මොළයෙන් සියයට අනූවක්ම (90%) වැඩිලා ඉවරයි. අපි අවුරුදු ගාණක් පාසල් යවලා හෝ එයට පසු කාලයේදී ඒ මොලයේ වැඩෙන්න ඉතිරිවෙන්නේ සියයට දහයයි. ඒ නිසා අපි වැඩි උත්සහයක් අවධානයක් යොමු කරන්න ඕනේ පෙර පාසල් දරුවාට ගැලපෙන හොඳම අධ්‍යාපනයක් දෙන්න. ඒ කාලෙ ඇතුළත එයාගෙ බුද්ධිය හොඳම විදිහට වර්ධනය කරගන්න පුළුවන් කියන්නේ අපි අපේ රටේ අනාගතය හැදුවා කියන එක”
ධම්මික පෙරේරා මේ කටයුතුවල යෙදෙනුයේ මේ රටේ දියුණුව අරමුණු කරගනිමින් කෙතරම් දූරදර්ශීවද යන්න කීමට ඉන් එහා උදාහරණ අවශ්‍ය නැත.
“ අපි මේ දරුවන්ට දීලා තිබෙන ඩෙස් පුටු පවා ඇමරිකාවෙ පෙර පාසල්වල දරුවන්ට දෙන ආකාරයේ ඒවාමයි. මේ ඩිජිටල් තිරය යොදාගෙන දරුවන්ට අපි උගන්වන මේ වැඩසටහන ඇමරිකාවේ නම් මුදල් යොදවලයි ඔබ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ලබාගන්න ඕනේ. නමුත් අපි ‘ඩීපී කිඩ්ස්’ වැඩසටහනත් සමග නොමිලේම ජාත්‍යන්තර මට්ටමේ පෙර පාසල් අධ්‍යාපනයක් ඔබට ලබාදෙනවා. දරුවාට වඩාත් හොඳින් අවබෝධ කරගන්න මතක තියාගන්න පුළුවන් ආකාරයේ ක්‍රමවේදයක් තමයි මෙතැනදි යොදාගන්නේ. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා නොදී අපි කොහොමද ජාත්‍යන්තරයත් සමග සමව ඉන්න දියුණු රටක් වෙන්නේ” හෙතෙම පවසයි.
ඔහු මේ සුරැකිව පෝෂණය කරනා ‘පුංචි පැළ’ ඒ පෝෂණයෙන් වැඩෙමින් හෙට ජාතියට සෙත සෙවන සදන මහා වෘක්ෂයන් වනවා නිසැකය. ධම්මික පෙරේරාගේ ‘පොහොසත් ගමක්- පොහොසත් රටක්’ සංකල්පය යථාර්ථයක් කරමින්, දුප්පත් ගම දුරු කර පොහොසත් රට ගොඩනගනවා ඇත.
ඒ වෙනුවෙන් ධම්මික පෙරේරා මහතා ගනු ලැබූ පියවර මේ පෙර පාසලට පමණක් සීමා නොවන්නේය. එය පාසල් අධ්‍යාපනයට පමණක් නොව ඉන් ඔබ්බටද විහිදෙන්නේය.
ඉන් අනතුරුව බිබිල වෑගම සද්ධර්මාලංකාර විද්‍යායතන පරිශ්‍රයේදී ඔහු අතන් ජනතා අයිතියට පත්කෙරුණු ඩීපී එඩියුකේෂන් ඩිජිටල් පිරිවෙන් පංති කාමරය, ඩීපී එඩියුකේෂන් ඩිජිටල් පාසල් පංති කාමරය, ඩීපී එඩියුකේෂන් සෞඛ්‍ය අධ්‍යාපන පාසල, ඩීපී එඩියුකේෂන් වෘත්තීය පුහුණු පාසල. ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා පුහුණු පාසල සහ ඩීපී එඩියුකේෂන් භාෂා පාසල ආදිය එයට උදාහරණ වන්නේය.
‘ඩිපී එඩියුකේෂන්’ යනු අද මෙරට ‘නිදහස් අධ්‍යාපනයේ’ ඩිජිටල් සන්නාමයයි. එය අද වන විට ආසියාවම ජයගෙන අවසන්ය. මන්ද ජපානය, දකුණු කොරියාව, මැලේසියාව ආදී ආසියාවේ දිදුළන රටවල් දෙවැනි තැනට දමමින් සමස්ත ආසියාවේ අංක එකේ අධ්‍යාපන නාලිකාව ලෙසින් සම්මානයට පාත්රවීමට එයට හැකිව තිබෙන බැවිනි. මෙය සියල් සපිරි ඩිජිටල් අධ්‍යාපන මණ්ඩපයකි. එයට පංති භේද නැත. භාෂා භේද නැත. කොළඹ හතේ සුපිරි පාසලේ පටන් හද්දා පිටිසර යැයි කියැවෙන ගම්තුලානක පිහිටි කනිටු විදුහල දක්වාම එකම මට්ටමෙන් පාසල් විෂයමාලාව හැදෑරීමට එයින් අවස්ථාව සලසා තිබේ. රජයේ මෙන්ම උපකාරක පංති ක්ශේත්‍රයේද ඉගැන්වීමේ කලාවේ අති දක්ෂයෝ මෙහි ඒ ඒ විෂය කරති.
මෙය පාසල් අධ්‍යාපනයට පමණක් නොව ඉන් ඔබ්බට ද විහිදෙන්නකි. බිබිල වෑගම සද්ධර්මාලංකාර විද්‍යායතන පරිශ්‍රයේදී ඩිජිටල් පංති කාමර ලෙසින් පිරිනැමුණු දෑ අතර ‘ඩීපී එඩියුකේෂන් ක්‍රීඩා පුහුණු පාසල’ ඔස්සේ ක්‍රීඩාව ආදී විෂය භාහිර හැකියාවන් දියුණු කරගැනීමට මෙන්ම ‘ඩීපී එඩියුකේෂන් සෞඛ්‍ය අධ්‍යාපන පාසල’ ඔස්සේ අත්‍යවශ්‍ය සෞඛ්‍ය දැනුම නව මානයකින් සමාජගත කිරීමට පමණක් නොව ‘ඩීපී එඩියුකේෂන් භාෂා පාසල’ මෙන්ම ‘ඩීපී එඩියුකේෂන් වෘත්තීය පුහුණු පාසල’ ඔස්සේ ලෝකයේ රැකියා ඉල්ලුමට සරිලන ජීවනෝපායන් සපුරාගැනීමට මංපෙත් රාශියක් ද විවර කර දී තිබේ.
එපමණක් නොව, බිබිල ප්‍රදේශයේ ජනතාව වෙත මෙදින ධම්මික පෙරේරා මහතාගෙන් උරුම කෙරුණු තවත් සුවිශේෂී ශක්තියක් වූයේ වෑගම සද්ධර්මාලංකාර විහාර පරිශ්‍රයේම පිහිටි ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ සහ ‘ඩීපී සිලිකන්වැලි ඔෆිස්’ය. තොරතුරු තාක්ෂණ ක්ශේත්‍රයේ රැකියා දසලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව එකිනෙක ක්‍රමිකව බැඳෙන පරිදි සැකසූ මෙම වැඩපිළිවෙල පුද්ගලිකව ශතකයක හෝ ලාභ අපේෂාවකින් තොරව සිය ධනය කෝටි ගණනින් වැය කර තම රටට කෝටි ප්‍රකෝටි ගණනින් ආර්ථික ලාභ කැඳවීම පිණිස සැකසූවකි. ගමේ දරුවෙක්ට, තරුණයෙකුට රුපියල් මිලියන දෙකහමාරක් වටිනා පාඨමාලාවක් ගමේ සිටම හදාරමින් අයි.ටී ක්ශේත්‍රයේ විශේෂඥයෙක් වීමට හැකි සියළු ‘අඩුම කුඩුම’ මේ වැඩසටහනේ ඇතුළත්ය. එපමණක් නොව ගමේ සිටම ලෝකයට සේවා සැපයීමට හැකියාව ලැබෙන්නේය. මේවා හීන නොව මේ වන විටද ධම්මික පෙරේරා අතින් යථාර්ථයන් බවට පත්කර ඇති අතිශය ප්‍රායෝගික දෑය.
වෑගමදී මෙලස ප්‍රජා අයිතියට පත්කෙරුණු මෙම ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හී මේ වන විටත් 1500ක් ඉගෙනුම ලබන අතර එම අවස්ථාව ලබාගැනීම සඳහා තවත් 2000ක් දෙනා පොරොත්තු ලේඛනයෙ සිටීමෙන්ම මේ වැඩසටහනේ ඇති වටිනාකම ගම් නියම්ගම් දක්වා වටහාගෙන ඇති අයුරු පැහැදිළිය.
“මේ වගේ දුෂ්කර ප්‍රදේශවලදි අපි දකින දේ තමයි දුප්පත්කම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන දෙයක්. සීයත් දුප්පත්, තාත්තත් දුප්පත්… ඒ නිසා ඊළඟ පරම්පරාවත් දුප්පත්. නමුත් මේ වගේ දුප්පත්කම උරුමකරගෙන ආපු පවුලක දරුවෙක් අයි.ටී ඉංජිනේරුවෙක් වුණොත් ඒ දුප්පත්කම එතැනින් අවසන්. ඒක මතු පරම්පරාව කරා ඇදිලා යන්නෙ නැහැ. දිළිඳු බවේ චක්‍රය එතැනින් කැඩෙනවා. ඒක කරන්න පුළුවන් මේ වගේ අධ්‍යාපනයකින්. මේ දරුවන්ට කොළඹ ගිහින් මේ අධ්‍යාපනය ගන්න හැකියාවක් නැහැ. නමුත් මේ අයි.ටී අධ්‍යාපනය ගමට ගෙනැවිත් ඒ අධ්‍යාපනය ලබාදෙන්න අපට පුළුවන් වුණා. ගමේ ඉඳන්ම අයි.ටී රැකියාවක් කරන්න අවස්ථාව ඩීපී සිලිකන් වැලි අයි.ටී ඔෆිස් හරහා ලබාදෙන්න පුළුවන් වුණා. පොහොසත් ගමක් හදන්න පුළුවන් මේ වගේ ක්‍රමවලට විතරයි. හරි අධ්‍යාපනයක් ලබන්නෙ නැතිව රස්සාවල් හොයාගෙන කොළඹ ගිහින්, පොඩි පඩියක් අරගෙන, කඩෙන් කෑම ටික කාලා, හුණ්ඩුවක් වගේ බෝඩිමකට හිරවෙලා ඒ බෝඩිං ගාස්තුත් දරාගත්තට පස්සේ එයාට ගමට ගේන්න මුදලක් ඉතිරිවෙනවද? එහෙම කොහොමද පොහොසත් ගමක් හදන්නේ? පොහොසත් ගමක් හදන්නෙ නැතිව කොහොමද පොහොසත් රටක් හදන්නේ” යැයි ධම්මික පෙරේරා මහතා මෙහි රැස්ව සිටි ජනතාව හමුවේ විමසා සිටියේය.
මේ අතර ප්‍රදේශවාසීනට තාක්ෂණය හා සම්බන්ධවීමට අවස්ථාව සැලසීමක් ලෙසින් බිබිල වෑගම සද්ධර්මාලංකාර විද්‍යායතන පරිශ්‍රයේ නිදහස් වයිෆයි කලාපයක් විවෘත කිරීමත්, මෙහිදී සම්පාදනය වූ සියලු තාක්ෂණික කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්ති උත්පාදනය සහ අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් සූර්ය බලශක්ති ක්‍රමවේදයක්ද මෙම දිනයේදී ධම්මික පෙරේරා මහතා අතින් විවෘත විය.
මේ ආකාරයෙන් සියලු යටතලය සම්පාදනය කරදී, ඩිජිටල් ආර්ථිකය ගමට රැගෙන ඒමට පමණක් නොව ගමේ සාම්ප්‍රදායික ආර්ථිකය ඔසවා තැබීමටද ‘පොහොසත් ගමක්- පොහොසත් රටක්’ වැඩසහන ඔස්සේ ධම්මික පෙරේරා මහතා කටයුතු කරනු ලබන්නේය. ඒ අනුව අහිමිවෙමින් පවතින බිබිලේ නමැති ‘පැණි දොඩම් සන්නාමය’ යළි එම ප්‍රදේශයේ පිහිටුවීමේ වැඩසටහනක්ද මෙයට සමාන්තරව ක්‍රියාත්මකය.
මේ සියල්ල අතර ‘පොහොසත් ගමක් – පොහොසත් රටක්’ සංකල්පය ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ඩීපී අනාගත නියමු ව්‍යාපෘතියේ තවත් සුවිශේෂී අංගයක් ලෙසින් වෑගම සද්ධර්මාලංකාර පිරිවෙන් භූමියේ ස්ථාපිත, දරිද්‍රතාවයෙන් පෙලෙන ප්‍රදේශවාසී ජනතාවගේ කුසගිනි නිවීම උදෙසා අඛණ්ඩව යෙදවෙන ‘ප්‍රජා මුළුතැන්ගෙය’ද මෙහිදී එම සංකල්පයේ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා අතින් විවෘත වූයේ ඔහු අතින්ම ජනතාව වෙත ආහාරපාන බෙදාදෙමිනි.
මෙදින වෑගම ඇතුලු බිබිල පොහොසත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මකභාවයට පත්කළ ඒ ඒ දෑ සියල්ල එකතු කර දක්වන්නේ නම් ‘දහසය වැදෑරුම් ප්‍රතිපත්තියක්’ ක්‍රියාත්මක කිරීමකි. බිබිලහි පිහිටි නිල්ගල ඔසු උයන මිනිසුන්ගේ සුවපත්භාවය වෙනුවෙන් බුද්ධදාස රජ සමයේ සිට පිරිනැමුණු දෑ යම්සේද සිය ‘පොහොසත් ගමක්- පොහොසත් රටක්’ සංකල්පය ඔස්සේ මෙදින බිබිල ප්‍රදේශවාසීන් වෙනුවෙන් පිරිනැමුණු දෑ ඔවුන්ගේ ආර්ථිකය සුවපත් කර, මතු අනාගතයක් මුළුල්ලේ බිබිලේ ආර්ථිකය සුවය රැකදෙනු ඇත. එමතුද නොව පන්සල මැදිකරගත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනගමින් ආර්ථික සුවය සමග අධ්‍යාත්මික සුවයද දනවනු ඇත.