යටත් විජිතයක් ලෙස තිබූ රටකට නිදහස ලැබීම, නිවහල් රටක, ජාතියක අභිමානය විඳගන්නට ඉඩ ලැබීම වනාහී මහ ඉහළින් සමරන්නට හේතුවන කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඉතින්, මේ 2024 වසරේ පෙබරවාරි 4 වන දා අප සමරන්නට යන්නේද ලාංකේය අපේ අභිමානයට පාත්‍ර වන 76වන නිදහස් දිනයයි.
ශ්‍රී ලංකාවේ ජාතික දිනය හෝ නිදහස් දිනය යනු ශ්‍රී ලංකාවේ ජාතික නිවාඩු දිනයක් වන අතර එය 1948 පෙබරවාරි 4 වන දින බ්‍රිතාන්‍ය පාලනයෙන් රට දේශපාලන නිදහස සිහිපත් කරන්නකි.
ලංකා ඉතිහාසය ගැන නැවත වරක් පිරික්සුවහොත් මේ නිදහස වෙනුවෙන් දිවි පූජා කල බොහෝ ලාංකේය විරුවන්ද, සටන්කාමීන්ද අපට සිහිපත් වීම අරුමයක් නොවේ. මේ 76 වන නිදහස අප අභිමානයෙන් සමරන්නේද ඒ නිදහස උදෙසා ලෙයත්, කඳුලත්, දහදියත් වැය කල සාඩම්බර ජාතියක් මෙනෙහි කරනු පිණිසය.
සමගිය, සාමය සහ සංවර්ධන පිළිබඳව කතා කරන මේ නිදහස් දිනය දශක ගනනාවක අරගලයක විමුක්තිය සටහන් කරන්නකි.
1505 වසරේ දීර්ඝ යුරෝපීය පාලන සමයක ආරම්භය සනිටුහන් කරමින් පෘතුගීසින් මෙරටට පැමිණි අතර 1656 වසරේදී ලන්දේසි හමුදාව පෘතුගීසින් විසින් යටත් කරගෙන තිබූ භූමි ප්‍රදේශවලින් වැඩි කොටස තමා යටතට ගත්හ.
1796 වසරෙදි බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම වෙරලබඩ ප්‍රදේශ පාලනය කරන්නට ගත් අතර 1815 වසරෙදි සම්පූර්ණ යටත් විජිත පාලන සමයක් සනිටුහන් කරමින් ලක්දිව අවසන් ස්වාධීන සිංහල රාජධානිය වන මහනුවර රාජධානිය බ්‍රිතාන්‍යයන් විසින් යටත් කරගන්නා ලදී.
19 වන සියවස අග භාගයේදි උගත් මධ්‍යම පාංතිකයන් නැගී සිටිම සමග ජාතිවාදී හැඟීම් කෙමෙන් රෝපණය වන්නට පටන් ගත්හ.
ස්වයං පාලනයක් වෙනුවෙන් පෙනී සිටින පළමු ප්‍රධාන දේශපාලන පක්ෂය වන ලංකා ජාතික කොංග්‍රසය පිහිටුවීම 1884 වසරෙදි සිදු වූ අතර 20 වන සියවස මුල් භාගය වන විට නිදහස පතා ක්‍රියාත්මක වූ වැඩ වර්ජන වැනි අවිහිංසාවාදී ප්‍රතිරෝදයන් දක්නට ලැබිණි. මේ හේතු කරගෙන 1931 වසරේදි ඩොනමෝර් ආන්ඩු ක්‍රමයෙන් අපට සීමිත ස්වයං පාලනයක් ලබා දෙන ලදී.
එහෙත් එයින් නොනැවතී සම්පූර්ණ ස්වාධීනත්වය ඉල්ලා රාජ්‍ය මන්ත්‍රණ සභාව යෝජනාවක් සම්මත කරගැනීමට 1942 වසරේදි අපට හැකියාව ලැබුණි.
1943 සෝල්බරි කොමිසම විසින් ස්වයං පාලනයක් මත පදනම් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලදී. 1944 වසරෙදි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ ආධිපත්‍ය තත්ත්වය වෙනුවෙන් පෙනී සිටිමින් ඩී.එස්.සේනානායක එක්සත් ජාතික පක්ෂය (එජාප) පිහිටුවන ලද අතර 1946 දි සෝල්බරි ව්‍යවස්ථාව පූර්ණ අභ්‍යන්තර ස්වයං පාලනයක් ලබා දුන් අතර 1947 වසරෙදි එජාපය මැතිවරණ ජයග්‍රහණය කර ඩී.එස්.සේනානායක මහතා අගමැති ලෙස පත් විය.
ඒ අනුව යමින් 1948 පෙබරවාරි මස 4 වන දින බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ආධිපත්‍යයක් ලෙස ලංකාව (දැන් ශ්‍රී ලංකාව) පූර්ණ නිදහස ලබා ගත් අතර අප අද වසර 76කට පසුවත් සමරන්නේ ඒ නිදහස ලබා ගැනීමේ අරගලයයි.
යටත් විජිත පාලනයේ අවසානය සහ ජාතික ස්වයං නිර්ණය ආරම්භය, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් සහිත ප්රජාතන්ත්රවාදී ජනරජයක් පිහිටුවීම, ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ සංස්කෘතික උරුමයන් සැමරීම, ජාතික සමගිය සහ අභියෝග හමුවේ ප්‍රගතිය අඛණ්ඩව අවධාරණය කිරීම වැනි කරුණු අප ලද මේ නිදහස සැමරීමේ අරමුණු ලෙස හඳුන්වාදෙන්නට හැක.
පෙබරවාරි 4 වන දින සමරනු ලබන ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ජාතිය සඳහා අතිමහත් වැදගත්කමක් දරයි, එහි ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් සහ ජාතික අභිමානයේ උල්පතක් නියෝජනය කරයි.
මෙදිනට සමගාමීව ජාතික සමගිය සහ සංස්කෘතිය විදහා දක්වන ගායන සහ ප්‍රසංග පැවැත්වෙන අතර රටට, ජනතාවට සහ ත්‍රිවිධ හමුදාවට සාමය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් රට පුරා බොහෝ සිද්ධස්ථානවල ආගමික වතාවත් සිදු කෙරේ.
නිර්භීතකම, විශ්වාසය, කැපවීම, ජාතික සමගිය, දේශප්‍රේමය, ජාතිකත්වය, සාමය, ජාතික වගකීම සහ ජාතික ඉතිහාසය පිළිබඳ දැනුවත්භාවය වැනි අදහස් මිනිසුන්ගේ සිත් තුළ ප්‍රවර්ධනය කිරීමට ද ජාතික මාධ්‍ය මෙදිනට පැවැත්වෙන නිදහස් දින සමරු උත්සව වලින් උත්සාහ කරයි.
නිදහස් දිනය සැමරීම සඳහා පෙබරවාරි 4 වෙනිදා විශේෂ නිවාඩු දිනයක් බවට පත් කරද නිදහස වනාහී එක් දිනයකට පමණක් සීමා වූවක් නොවේ.
එය ස්වයං නිර්ණය, ජාත්‍යාලය, සහ ප්‍රගතිය කරා යන ජාතියක ගමන පිළිබඳව සනිටුහන් කරන්නකි.
ඉතින් මේ 76 වන නිදහස අප සැමරිය යුත්තේ අභිමානයෙනි.
මේ අපේ රටයි.
අපේ දේශයයි.
අපේ ජීවයයි. ජීවනයයි.
ඉතින් ලක් මව්නි,
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා
පිළිගනු මැන අප භක්තී පූජා
නමෝ නමෝ මාතා!