අගහිඟකම් කියන්නෙ ජීවිතේ ජයගන්න බාධකයක් බව හිතන මිනිස්සු ඕනතරම් අපි අතරෙම ඉන්නව. අගහිඟකම් මැද්දෙ තෙරපිලා ඉද්දි “මෙතනින් එහාට යන්න සල්ලි තියෙන්න ඕන” කියල හිතන ලෝකෙක, අවුරුදු එකොළහක පුංචි දරුවෙක්, තමන්ගෙ පරිගණකයෙන් වැඩ කරල, තමන්ගෙ මව් දෙමව්පියන් ඇතුලු පවුල අගහිඟකම් වලින් ගොඩ ගන්න උත්සහ කරන බව ඔයාලා විශ්වාස කරනවද?
මේ කතාව ඇහෙන්නෙ අපේ පුංචි රටේම තවත් එක කෙළවරකින්.
පරිගණකයක් ගන්නවත් වරම් නොතිබූ අගහිඟකම් පමණක්ම තිබූ පවුලක ඉපදිලා අවුරුදු එකොළහේ ඉඳන් පරිගණකයෙන් රටටම දැනෙන්න වැඩ පෙන්නන කලවානේ පුංචි වීරයා – තිරාජ් ප්‍රභාෂ ගැන තමයි අපි අද මේ ලිපියෙන් කතා කරන්න යන්නේ.
“මම ඇත්තටම කොළඹ ගිහින් තිබුණෙ තුන් පාරයි. මේ පාර මට කොළඹ යන්න ලැබුණෙ මම හදපු ඒ ඇප් එක නිසා. මම ඒ ඇප් එක හදලා ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසලේ හෝම්වර්ක් එකකට දැම්මා. ඒක දැකපු ධම්මික පෙරේරා මහත්මයා තමයි මට කොළඹ එන්න කියල ආරාධනා කරල රුපියල් ලක්ෂයක් දුන්නෙ මාව තවත් දිරිමත් කරන්න.
ඒ ලක්ෂයෙන් මම මුලින්ම කරේ මම ඉගෙන ගන්න රඹුක පාසලට අඩුපාඩුවක් වෙලා තිබුණ මයික්‍රෆෝන් එකක් සහ බෆල් එකක් අරන් දුන්නු එක. ඒකෙන් ඉතුරු වුණ සල්ලි වලින් මම අපෙ ගෙදර ඉතුරු වැඩ ටික කරන්න ගත්තා”
තමන් මහන්සි වී ඉගෙන ගෙන රැකියාවෙන් උපයමින් තමන්ගේ දරිද්‍රතාවයෙන් පෙලෙන පවුල ගොඩගන්න උත්සහ කරන දරුවන් අප අතර නැතුවාම නොවෙයි.
ඒත් මේ අවුරුදු එකොළහක පුංචි දරුවෙක්ගේ ඒ වගකීම් දැරීම, කැපවීම දිරිමත් බව මොනතරම් ද? එච්චර පුංචි වයසක ඉන්න දරුවෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් අන්දමේ වගකීමක්, යුතුකමක් ඉටුකිරීමක්ද ඒ කියන කාරණාව ඔබේ සිතටත් මේ වනවිට දැනිලා ඇති.
“අපේ අම්මයි තාත්තයි දලු කඩල තමයි මාවයි අයියවයි බලාගන්නේ. අපේ ගෙදර කම්පියුටර් එකක් නෑ. මම මහා විද්‍යාලයට ගියේ හය වසරෙදි. ඒ කාලෙදි තමයි මම මුලින්ම කම්පියුටර් එකක් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ. එහෙම වැඩ කරලා තව හොඳට පරිගණක තාක්ෂණය හදාරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ”
අපි පොඩි කාලෙට වඩා පුංචි දරුවො දැන් අනාගතය කල් තියාම දකිනවා. පුංචි තිරාජ්ගෙත් අනාගත බලාපොරොත්තුව තොරතුරු තාක්ෂණය හොඳින් හදාරල අනාගතයේ මෘදුකාංග ඉන්ජිනේරුවයෙක් වෙන්න කියල තිරාජ් අපිට කිව්වා.
රුපියල් ලක්ෂයක් දිනාගත්ත තිරාජ් හදපු ඇප් එක පංච තූර්ය වාද්‍ය භාණ්ඩ ගැන විස්තර සහ ඒවායේ හඬට සවන් දීමට හැකියාව තිබෙන ඇප් එකක්. ඒ ඇප් එක හදන්න පුංචි තිරාජ් ට අදහස ලැබිලා තියෙන්නෙ ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසලේ ඉගෙනුම ලබද්දි වීම තවත් විශේෂයි.
“ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසලේ තිබුණා ඇනිමල් සවුන්ඩ් කියල පාඩමක්. ඒ පාඩමේ කියල දීපු දේවල් එක්ක මට හිතුණ මේ වගේ ඇප් එකක් හදන්න මටත් පුලුවන් නේ කියල. ඊට පස්සෙ ඉස්කෝලෙ පාඩම් පොතේ තියෙන පංච තූර්ය වාද්‍ය භාණ්ඩ වල විස්තරයි හඬයි එකතු කරල මම මේ ඇප් එක හැදුවේ”
දරුවෙක්ට ඉහළට යන්න, පුංචි දිරිමත් කිරීමක් වුවත් ප්‍රමාණවත් බව ඒ කතාවෙන් අපිට මොනතරම් පැහැදිලි වෙනවද?
දැන් ඉන්නෙ ලෝකෙ දිනන දරුවො විතරක් නෙවෙයි, ලෝකෙ වෙනස් කරන්න හදන දරුවො. තමන් ඉගෙන ගන්න පොතපතේ දැනුම ඒ අධ්‍යයන කටයුතු වලට විතරක් වෙන් කරගෙන ඉන්නෙ නැතුව ඒ ඔස්සේ තව තවත් අලුත් දේවල් ගොඩනගන, ඒ වෙනුවෙන් උත්සහවන්ත වෙන දරුවො තමයි අපේ පුංචි රට ලෝකේ ඉස්සරහට අරගෙන යන්නේ.
“මම තව ඇප් එකක් හැදුවා හද ගී පොත කියල. ඒක පරණ ළමා සිංදු තියෙන ඇප් එකක්. දැන් කාලේ ඒ පරණ සිංදු අපිට ඇහෙන්නෙ අඩුවෙන් නිසා තමයි මම ඒ ඇප් එක හැදුවෙ”
මේ වගේ දක්ෂතා වලින් පිරිපුන් පුංචි තිරාජ් කියන්නේ ඒ තරමටම මනුස්සකම්, සංවේදීකම් වලින් පිරුණ හරි වටින දරුවෙක්. ඒ බව අපිට තහවුරු වුණේ තිරාජ්ගෙ ඊළඟ වචන වලින්.
“මම තව ඇප් එකක් හැදුවා. ඒක පිරිත් ඇප් එකක්. අපේ ආච්චිට පිරිත් අහන්න ක්‍රමයක් නෑ. ඒ නිසා තමයි මම ඒ ඇප් එක හැදුවෙ. මම ආච්චිට හරි ආදරෙයි. ආච්චිට පිරිත් අහන්න ක්‍රමයක් හදල දෙන්න ඕන කියල ආව සිතුවිල්ල නිසා මම මේ ඇප් එක හැදුවා”
ඒ වචන අපත් සමග බෙදාගද්දිත් පුංචි තිරාජ්ගේ ඇස්වල පිරුණු කඳුලු බිංදුවල තිබුණේ තමන්ගේ පවුල වෙනුවෙන් නැගුණ ආදරයේ සහ මනුසත්කමේ හැඟීම්. මිල කරන්න කිසිසේත්ම හැකියාවක් නැති, පිවිතුරු පුංචි දරුවෙක්ගෙ හද පත්ලෙන් නැගුණ හැඟීම්.
“මම මේ පරිගණක තාක්ෂණය වගේම ඉස්කෝලෙ මීඩියා යුනිට් එකටත් එකතුවෙලා ඉන්නව. මම ඒවටත් හරිම ආසයි. ඊට අමතරව මම ඉස්කෝලෙ වැඩත් හොඳට කරන ගමන් ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසලේ තියෙන වැඩසටහන් 364න් දැන් 64ක් ම ඉවර කරල තියෙන්නෙ. ඉතුරු ඒවත් ඉවර කරලා මම ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල එක්ක එකතුවෙලා මොරටුව විශ්ව විද්‍යාලයෙන් කරන Full Stack Developer පාඨමාලාවත් කරන්න ඉන්නෙ”
මේ පුංචි වීරයගෙ කතාබහ දිහා බලාගෙන ඉඳපු ඒ අම්මයි තාත්තයිත් අපිත් එක්ක කතාබහකට එකතු වුණේ තමන්ගෙ දරුවා ගැන ඉමහත් ආඩම්බරයෙන් සහ සතුටෙන්.
“පුංචි කාලෙ ඉඳල අපෙ දරුවා හරි දක්ෂයි, ඒ වගේම හරි හොඳයි. ඒත් අපිට කවදාවත් හිතුනේ නෑ මේ තරම් දුර යන්න ලැබේවි කියල. එයා හරිම උනන්දුවෙන් ගෙදර වැඩ ටික කරන්නත් එකතු වෙන්නෙ. ලොකු උදව්වක් ඉතින් මේ දරුවා අපිට. ඒ වගේම අපිට ලොකු හයියක්.”
“අවුරුද්දක් ඇතුළත මේ වගේ දෙයක් කරලා, කොළඹත් ආව කියන සතුට නිසාම මම හිතුවා මම ඉස්සරහටත් මේ වගේ දේවල් කරලා ගෙදරටත් උදව් කරනවා කියල”
පුංචි තිරාජ් තමන්ගෙ දස්කම් ගැන හිතේ තියෙන නිහතමානී සන්තෝසෙ අපිත් එක්ක බෙදාගත්තෙ ඒ විදියට.
අගහිඟකම් මැද, අපහසුතා මැද, බොහෝ දේ තමා අත ළඟ නැති මොහොතක වුණත් තමන්ගෙ උත්සහයෙන් ඉගෙන ගෙන ඉදිරියට යන්න, නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ දුරදක්නා නුවණින් බිහිවුණ ඩීපී එඩියුකේෂන් ඔස්සේ දෙන සහය මෙවැනි “කටු අකුල්වල පිපුණ පුංචි මල් පොහොට්ටුවටල අනාගතයේදී පිපෙන්නට” මොනතරම් නම් අත්වැලක්ද කියන කරුණත් අපි මතක් කරන්නෙ ඉතාම ආඩම්බරයෙන් සහ සතුටෙන්.
dhammika Perera sir thanks so much for all the great things you have done for our young generation..